හිටපු ඇමති ජොන්ස්ටන්ගේ නඩුවක් කල්යයි
January 14, 2026 01:19 pm
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවදියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම විත්තිකරුවන් දෙදෙනා වැලිසර මහෙස්ත්‍රත් අධිකරණය මඟින් වෙනත් නඩුවක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බවය.
ඒ අනුව මෙම නඩුව යළි මාර්තු මස 04 වනදා සහ 18 වනදා විභාගය සඳහා යළි කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුට පෙනී සිටි ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළේය.
එදින විත්තිකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර සිටියේය.
