මොරටුව හිටපු නගරාධිපතිගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට නියෝග

මොරටුව හිටපු නගරාධිපතිගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට නියෝග

January 9, 2026   11:13 am

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප කොන්දේසියක් සංශෝධනය කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කළේය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කාලසීමාවේ සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා මොරටුව මහ නගර සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත්, ඔහුට මොරටුව මහ නගර සභා පරිශ්‍රයට ඇතුළුවීම වළක්වාලමින් මෙම අධිකරණය විසින් ඇප කොන්දේසියක් පනවා ඇති නිසා එම කටයුත්තට සහභාගිවීමට නොහැකි වී ඇති බව පැවසීය.

එම නිසා අදාළ ඇප කොන්දේසිය සංශෝධනය කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මොරටුව මහ නගර සභා පරිශ්‍රයට සැකකරුට ඇතුළුවීමට හැකිවන පරිදි ඇප කොන්දේසිය සංශෝධනය කිරීමට නියෝග කළේය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ජුනි මස 12 වනදා කැඳවන ලෙස නියම විය.

මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112කට අදාළ ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට සැකපිට අල්ලස් කොමිසම විසින් මොරටුව හිටපු නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.