විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රු. ලක්ෂ 3,743ක් යළි වින්දිතයින්ට

විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රු. ලක්ෂ 3,743ක් යළි වින්දිතයින්ට

January 7, 2026   03:56 pm

2025 වර්ෂය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරන ලද වින්දිතයින්ට රුපියල් ලක්ෂ 3,743කට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ. 

මේ අනුව පසුගිය වසර තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 791ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 4,734ක් කාර්යාංශයට ලැබී ඇත.

තවද මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 20ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම වැටලීම් අතරට නීතිවිරෝධි ක්‍රියාවල යෙදුණු බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 2ක් අයත්ය.

එමෙන්ම මෙම කාලය තුළදී වංචනිකයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරට බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 15ක්ද අයත් වන බව සඳහන්.

මේ අතර විදේශ රැකියා වංචා වැළැක්වීම සඳහා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් ඒකකයක්ද පසුගිය වසරේදී කාර්යාංශය තුළ ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති අතර, එමගින් විනිවිදභාවයකින් යුතුව පැමිණිලි කඩිනමින් විසඳීමට හා වංචාකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

වර්තමානයේදී සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගනිමින් විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම් ඉහළ යමින් පවතින බැවින්, එවැනි පුද්ගලයින්ට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කාර්යාංශය ඇමතීමෙන් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.