කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියාකළ නොහැකි බව චීනය කියයි

කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියාකළ නොහැකි බව චීනය කියයි

January 5, 2026   11:53 am

කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියාකළ නොහැකිය යන්න චීනයේ විශ්වාසය බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි. 

වෙනිසියුලාවේ තත්ත්වය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව පවසමින් ඔහු මේ බව සඳහන් කළේ, හත්වැනි චීන-පාකිස්තාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයට ඊයේ (4) බෙයිජිං නගරයේදී එක්වෙමිනි. 

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ පාකිස්තාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar මහතා ද ඊට එක් වූහ.

දෙරටේ නායකයින් විසින් ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කරමින් පොදු ඉරණමක් සහිත සමීප චීන-පාකිස්තාන ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමට චීනය පාකිස්තානය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර සබඳතාවලදී බලය භාවිත කරන බවට කරනු ලබන තර්ජනයන්ට චීනය නිරන්තරයෙන් විරුද්ධ වන අතර, එක් රටක කැමැත්තෙන් තවත් රටක් අනතුරට ලක් කිරීමට චීනය ස්ථිර ලෙස විරුද්ධ වන බව ඔහු කියා සිටියේය.

පාකිස්තානය “එකම චීනය” මූලධර්මයට අනුගත වන බවත්, චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ සියලු කාරණා සම්බන්ධයෙන් චීනයට ස්ථිරව සහාය දෙන බවත් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා එහිදී නැවත අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු ආරක්ෂා කරමින් අනෙකුත් රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරන හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී ඇත.