දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

January 3, 2026   09:37 pm

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කෙරෙන සතර මහා මංගල්‍යයන්ගෙන් නව වසරේ පළමුවෙන්ම යෙදෙන අලුත් සහල් මංගල්‍ය පෞරාණික චාරිත්‍රානුකූලය හා ආගමික වතාවත් අනුව අද (03) දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදීදි සිදුවිය.

ඒ ශ්‍රී දළදා මාළිගාවේදී වන අතර මේ සඳහා දළදා තේවාව භාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමියන්ගේ හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙන්ම අලුත් සහල් මංගල්‍යය සඳහා දළදා මාළිගාවේ කාර්යභාර නිලයන්ද එක්ව සිටියහ.

නව වසරේ නැවුම් සහලින් ශ්‍රී දළදා සමිඳුන් පිදීම පෙර රජ දවසේ සිටම සෑම වසරකම දුරුදු පුන් පොහෝ දින සිදුකරනු ලබයි.

ශ්‍රී දළඳා මාළිගාවට අයත් කෙත් වතුවලින් නෙලා ගන්නා වී අස්වැන්නේ අග්‍රඵලය පල්ලේකැලේ පිහිටි ශ්‍රී දළඳා මාළිගාවට අයත් වී අටුවේ තැන්පත් කර තැබීමෙන් පසු අලුත් සහල් මංගල්‍ය සඳහා අවශ්‍ය සහල් දළදා මාළිගාව වෙත ගෙන එනු ලබන්නේ අලි ඇතුන් සහිත පෙරහැරකිනි.

පෞරාණික චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාළිගාව, සිව් මහා දේවාල, පිටිසර දේවාලවලට අයත් සහල් කොටස් වෙන් කිරීම පල්ලේකැලේ අටුවේදී සිදුකරනු ලබන්නේ ඊට පෙර දිනකදී වන අතර නව වසරේ ගොවිතැන් බත් සරුසාර වී අටුකොටු පිරී සැමට සමෘද්ධිය, සෞභාග්‍ය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී දළඳා මාළිගාවේ අලුත් සහල් මංගල්‍ය සෑම වසරකම පළමු පොහෝ දිනයේදීම පැවැත්වේ.