විදේශයේ සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනිඅවි සමග අත්අඩංගුවට

විදේශයේ සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනිඅවි සමග අත්අඩංගුවට

January 3, 2026   04:04 pm

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකු විසින් මිනිස් ඝාතන සඳහා යොදවා ගත් ගිනිඅවි තුනක් සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ අවිශ්ක හේෂාන් නොහොත් බෝධිය වත්තේ අවිශ්ක සහ අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් චූව සමන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනාගේ ගිනි අවි තුනකි.

මේ සමග ඔවුන්ගේ අනුගාමිකයින් සිව්දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍යද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් අතරට ආයුධ සැපයූ පුද්ගලයෙකු, නවාතැන් පහසුකම් ලබා දුන් අයෙකු සහ මිනිස් ඝාතන සඳහා යතුරුපැදිය පැදවූ පුද්ගලයෙකු මෙන්ම ආයුධ භාරව සිටි අයෙකුද වන බවය.

සැකකරුවන් සමග විදෙස් රටක නිෂ්පාදිත 3.8 රිවොල්වර වර්ගයේ  ගිනිඅවි 3 ක්, 9 එම්.එම් වර්ගයේ ජිව උණ්ඩ 6 ක්, 3.8  වර්ගයේ ජිව උණ්ඩ  06 ක්, ලක්‍ෂ 15 පමණ වටිනා  හොරෙයින් මත්කුඩු ගෑම් 50,  රුපියල් ලක්‍ෂ  8 ක් පමණ වටිනා අයිස්මත්ද්‍රව‍ය ගෑම් 55 ක්, සහ ස්මාර්ට් වර්ගයේ වර්ගයේ ජංගම දුරකථන 03 ක් ද පොලිස් භාරයට ගෙන ඇත

පොලිස් භාරයට ගත් ගිනි අවි අතර ඉකුත් තිස් වැනි දින 16 හැවිරිදි  තරුණියට වෙඩි තැබූ ගිනිඅවියද ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිස් වසමේ කලුබෝවිල රෝහල පාර, සරණන්කර පාර, කලුබෝවිල කැවුම් වත්ත හා බෝධිය වත්ත ප්‍රදේශවල නිවෙස් වල රැඳී සිටියදීය.

මෙම ගිනි අවිවලින් පසුගිය කාලය පුරා දෙහිවල, කොහුවල සහ ගල්කිස්ස පොලිස් වසම්වල මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇතැයිද පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොහුවල පොලිසිය වෙත භාරදී තිබේ.