ආපදාවෙන් බිඳණු සිත් සුවපත් කිරීමට Healing Sri Lanka
December 23, 2025 10:01 am
ආපදාවෙන් බිඳවැටුණු ගම් නගර Rebuilding Sri Lanka යටතේ ගොඩනැගෙමින් පැවතෙද්දි ආපදාවෙන් බිඳවැටුණු සිත් ගොඩනැංවීම සඳහා “Healing Sri Lanka” නම් මෙහෙයුම ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
ඊයේ (22) දින බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පැවැති පසු ආපදා උපදේශන සේවය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ඒකාබද්ධව එම අමාත්‍යාංශයන්ට අනුබද්ධිත උපදේශන නිලධාරීන් පසු ආපදා උපදේශනය සඳහා විශේෂයෙන් පුහුණු කිරීම මෙම වැඩමුළුව හරහා සිදු කෙරේ.
දිනක් පුරාවට පැවති මෙම වැඩසටහ තුළ පවුල් පාදක උපදේශනය, ළමුන් සඳහා විශේෂ මනෝ සමාජයීය උපදේශනය ඇතුළු ක්ෂේත්‍ර රාශියක් පිළිබඳ අවධානය යොමුකර තිබිණ.
මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක මහනුවර වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා, වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය, වෛද්‍ය චතුර අබේසූරිය මහතා ඇතුළු විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පත්දායකත්වය සැපයනු ලැබූ අතර, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ අංශ ප්‍රධානීන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය; ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයන්ට අයත් උපදේශන නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
