NIRDC යටතේ පළමු කාර්තුවේ තෝරාගත් ව්‍යාපෘති 9කට සහතික පත් පිරිනැමේ
December 22, 2025 06:35 pm
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකර තිබුණි.
ඒ අනුව, රුපියල් මිලියන 227කට වැඩි මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිත අතර අදාළ ව්‍යාපෘතිලාභීන් වෙත සහතික පත් පිළිගැන්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය යන මහත්වරු විසින් සිදු කරන ලදී.
ලංකා බැංකුව මගින් මෙම මුල්‍ය පහසුකම ලබා දීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමටද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක යන මහත්වරු අතර මෙහිදී අත්සන් තැබිණි.
ගිවිසුම ප්‍රකාරව අනුමත ප්‍රතිපාදන, අයදුම්කරුවන්ගේ ව්‍යාපෘතියට අදාළ කාර්ය සාධක දර්ශක (KPI) අනුව ප්‍රගතිය පරීක්ෂා කරමින් කොටස් වශයෙන් නිකුත් කිරීමට නියමිතය.
ඒ අනුව,
1 - විදුලි සංදේශ ආශ්‍රිත ජාලගත ළමා හිතකාමී අන්තර්ජාල පද්ධතිය සහ ඩිජිටල් යහපැවැත්මේ නව නිර්මාණයක් වන Vx Safenet මෙවලම වෙනුවෙන් සහතික පත්‍රය Visuamatix (Pvt) Ltd සමාගමේ තීක්ෂණ කුමාර මහතා වෙතද,
2 - Fractal Graphene and Activated කාබන් තාක්ෂණය වැනි අති නවීන රසායනික ද්‍රව්‍යවලින් නිෂ්පාදිත Volfpack Energy සුපිරි ධාරිත්‍රක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Volfpack Energy (Pvt) Ltd හි සංජීව කරුණාරත්න මහතා වෙතද,
3 - ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය, සීනි හෝ මධ්‍යසාර භාවිතයෙන් තොරව කුරුඳු පොතුවල අන්තර්ගත සියලුම අත්‍යවශ්‍ය පෝෂක කොටස්වල ගුණය මනාව සුරැකි Cold Brewed කුරුදු නිස්සාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Pure Cinnamon Exports (Pvt) Ltd හි මුදිත ජයතිලක මහතා වෙතද,
4 - අපනයනය කරනු ලබන පොල් තෙල්වල පිරිසිදු බව රසායනාගාරයකින් බැහැරව ඉතා වේගයෙන් සහ නිවැරදිව පරීක්ෂා කළ හැකි සුවිශේෂී අධි තාක්ෂණික උපකරණය හඳුන්වාදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආලෝකා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය මහාචාර්ය ජී.කේ.ඩී.එස්. ජයනෙත්ති මහතා වෙතද
5 - තේ කලාවේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණය ලොව හමුවේ දිග හරින දේශීය අනන්‍යතාවට මුල් තැන දෙන Samanala Farm ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Samanala Farm ආයතනයේ පබසරා මනතුංග මහත්මිය වෙතද,
6 - සිංහල අකුරු ටයිප් කිරීමේ අපහසුව මගහරවා ගනිමින් රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම කර ගැනීමටත්, විශේෂයෙන් දෘශ්‍යාබාධිත ප්‍රජාව ඩිජිටල් ලෝකය සමග බද්ධ කිරීමටත් නිර්මාණය කළ ස්වභාවික හඬින් යුත් AI System (Chatbot) for Sinhala පද්ධතිය වෙනුවෙන් සහතික පත්‍රය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ආචාර්ය රනිදිල් පුෂ්පානන්ද මහතා වෙතද,
7 - කිතුල් කර්මාන්තයට නව පණක් ලබා දෙමින් සීනි සහිත පාන වෙනුවට ස්වභාවික ගුණය සහිත කිතුල් කෝලා සහ මේද රහිත කිරි නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Planet’s Pick Holdings (Pvt) Ltd වෙනුවෙන් කපිල විජේසේකර මහතා වෙතද,
8 - Flat knit තාක්ෂණය ඔස්සේ අපනයන ඉලක්ක කර ගනිමින් ගලගෙදර, මාතලේ සහ දඹුල්ල වැනි ප්‍රදේශවල කාන්තාවන් සවිබල ගන්වමින් ඉහළ සමාජයීය බලපෑමක් ඇති කරන TDR Knitting ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය TDR Knitting (Pvt) Ltd හි ලක්මාලි වනසිංහ මහත්මිය වෙතද
9 - රසායනික පොහොර භාවිතය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගනිමින් පසෙහි වෙසෙන ස්වභාවික ක්ෂද්‍ර ජීවින් සක්‍රීය කිරීම මගින් ඉහළ අස්වැන්නක් ලබා දෙන “Magic-grow” පාංශු සක්‍රීයකාරක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Wasala Agro ආයතනයේ වාසල සිරිවර්ධන මහතා වෙතද භාර දෙන ලදී.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ පර්යේෂණ සොයා ගැනීම් වාණිජකරණය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව මානයක් එක් කෙරෙන බවත්, එබැවින් සංවර්ධනය සහ ආර්ථික වශයෙන් මෙම අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක් බවත්ය.
මෙම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් ලැබූ සියලු ව්‍යාපෘතිලාභීන් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය සුබපැතුම් එක් කළේය.
