ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින්ගේ යෝජනාව ගැන මෙරට ආර්ථික විශේෂඥයින්ගේ මතය
December 22, 2025 12:52 pm
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය සැලකිල්ලට ගනිමින් යළි ණය ප්‍රතිව්‍යුහගතකරණයට යාම උචිත නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර නැවත වරක් එම ක්‍රියාවලියම සිදු කිරීම හරහා විශාල ලෙස සම්පත් සහ කාලය වැයවීම සිදුවන බවය.
ඒ අනුව මෙසේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අනුගත වීම හරහා ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට මුහුණ පෑ ආකාරයෙන්ම ඉතාමත් සංකීර්ණ හා දුෂ්කර අවධියකට යළිත් වරක් ගමන් කිරීමේ හැකියාව ඇති බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය.
එමෙන්ම මෙසේ ණය යළිත් වරක් කල් දැමීම හරහා අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට එක්වීමට ඇති අවස්ථාව අහිමි වන බවත් විශාල වශයෙන් ණය බරක් දැරීමට සිදුවනු ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙසේ ණය ගෙවීම කල්දැමීම හරහා එයට පොලී එකතු වීම තුළ විශාල ණය බරක් පසුකාලීනව දැරීමට සිදුවන බවද ඒ මහතා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා,
''මම හිතන්නේ ලංකාව වැනි කුඩා රටක් මෙවැනි ආකාරයට ජාත්‍යන්තරය එක්ක කෙටියෙන්ම කියනවා නම් ගනුදෙනු කරන්න යනවා කියලා කියන්නේ හරියට පොඩි ළමයෙක් ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. ඒ තුළ වෙන්නේ අපි පිච්චෙන එක, නැත්නම් අපිට හානි කරගන්න එක. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකද අපි ණය පැහැර හැරීම නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත්වුණා. යළි වරක් එවැනි තත්වයකට අපි ගමන් කිරීම තුළ වෙන්නේ විශේෂයෙන්ම යළි වරක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන එකට සාකච්ඡා කිරීම තුළ වෙන්නේ ඒ හරහා අපි . ජාත්‍යන්තර වශයෙන් අපි අපකීර්තියට පත් වෙනවා. ඒ අනුව මම හිතන්නේ නැහැ මේ පැහැර හැරිය යුතුයි. නැත්නම් නව ණය ප්‍රතිව්‍යුහගතකරණය ගමන් කළ යුතුයි කියන. ඒ කණ්ඩායමේ ඒ ආර්ථික විද්‍යාඥයින්ගේ සමූහයේ උපදෙස් අනුව ලංකා රජය කටයුතු කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කල්පනා කරන්නෑ. මේ නිසා එවැනි උපදෙස් මත මේ අවස්ථාවේදී රජය තීන්දු, තීරණ ගැනීම වෙනුවට අපි මේ දක්වා ආ ගමන මේ ජාත්‍යන්තරව මූල්‍ය අරමුදලත් සමග ආ ගමන හා ණය ප්‍රතිව්‍යුහගතකරණ කරන ණය හිමිකරුවන් සමඟ ඇති කරගෙන තියෙන එකඟතා අනුව ඉදිරියට ගමන් කිරීම තමයි වඩාත් උචිත වෙන්නේ.''
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශය සැලකිල්ලට ගිනිමින් ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් පිරිසක් නිවේදනයක් නිකුත් කර තිබුණි.
නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 121 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව ගාර්ඩියන් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වන විටත් ලබා ගෙන ඇති අතර ඉදිරියේ දී තවත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බව ද එම විශේෂඥයින් එහිදී පෙන්වා දී ඇත.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර සවෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
