වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

December 18, 2025   04:13 pm

සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

හිංසාවට ලක්වූ වනඅලියා සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටියේය.

අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු මරණයට පත්ව ඇති බවට නියගමනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.