නිවාඩු දිනය තව අයෙකු වෙනුවෙන් වෙන් කරමුද ?

නිවාඩු දිනය තව අයෙකු වෙනුවෙන් වෙන් කරමුද ?

December 5, 2025   11:42 am

දිස්ත්‍රික්ක 22කට පැවති අයහපත් කාලගුණික තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් පහව ගියත් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට මිනිස්සුන්ට තවමත් අසිරු වී තිබේ.

පස් යට ගම් පිටින් මිහිදන්ව ඇති මොහොතක සමහර නිවාස සොයා ගැනීම පවා අසීරු වී ඇත.

කෙසේවෙතත් මධ්‍යම කඳුකරයට සිදුවු ආපදා තත්ත්වය මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ දැඩි ගංවතුර නිසාවෙන්ද මිනිසුන් පත්ව ඇත්තේ ඉතා අසීරු තත්ත්වයකටයි.

අඩි 7කට වඩා වැඩි ගංවතුර තත්ත්වයක් වැල්ලම්පිටිය ප්‍රදේශයට බලපා තිබුණු අතර අද (05) උදෑසන වනවිට ඇතැම් ස්ථානවල අඩියක පමණ වතුරක් තිබූ බවද 'අද දෙරණ' වාර්තාකරු පැවසීය.

එම ප්‍රදේශයේ ජනතාවට අසල්වැසියාට පවා උදව්වක් කර ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර, ඔවුන් හැකි සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ තම නිවාස පිරිසිදු කරගැනීමට හැකි අයුරින් උපකාර කරන ලෙසය.

වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ ජනතාවගේ නිවාස සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් යටවී ගිය අතර, එම ජනතාව සිය ජීවිත යළි සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට රජයෙන් ද උදව් ඉල්ලා සිටී.

එවන් මොහොතක අපට හැකි සෑම අයුරකින්ම තවත් අයෙකු වෙනුවෙන් කැපකරමින් ඔවුන්ගේ ජීවිත යළි නඟා සිටුවීමට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි නම් එය සැබැවින්ම මිනිසත් බව අගයන සිදුවීමක් බවද මතක් කර සිටින්නෙමු.

මේ අතර, සෝමාවතිය පුදබිම අවට තවදුරටත් ජලයෙන් යටවී ඇති අතර, එම ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනක් ද ගංවතුරට හසුවීමෙන් විනාශයට පත්ව ඇත.

ආපදාවට පත්වූවන්ට කොතෙකුත් ආහාර පාන සහ අනෙකුත් ද්‍රව්‍ය ඔවුන්ට හිමිවුවත්, මේ වනවිට ඔවුන්ට ඇති බරපතළම ගැටලුව වන්නේ, තව නිවාස පිරිසිදු කරගැනීම හා නිවාස පිළිසකර කර ගැනීමයි.

අද උදෑසන 6ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවන්ට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 519,842කට අයත් පුද්ගලයින් 1,844,055 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ නිවාස 2,303ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 52,489කට අර්ධ හානි සිදුව ඇත.