ලුණුවිල හෙලිකොප්ටර අනතුර විමර්ශනයට කමිටුවක්
December 1, 2025 01:52 pm
වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 9දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි.
රටට බලපා ඇති ඕනෑම හදිසි ආපදාවකදී විපතට පත් ජනතාව සිය ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දල්වාගන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ගිනි නිවන හමුදාව ඇතුළු මුදාගැනීමේ කණ්ඩායම් තම ප්‍රදේශවලට පැමිණීමත් සමගිනි.
මෑත ඉතිහාසයේ කවරදාකටත් වඩා මෙවර ගංවතුර හා නායයෑම් ආපදාවලදීත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරමින් සිටින්නේ සුවිසල් මානුෂිය මෙහෙවරකි.
එම දැවැන්ත මෙහෙයුම් අතරතුර ශ්‍රී ලාංකික හදවත් කම්පා කළ සිදුවීමක් ඊයේ (30) වාර්තා විය.
ඒ, මානුෂීය ක්‍රියාන්විතයේ නියැලෙමින් සිටි ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමය.
වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ ගිං ඔයට කඩාවැටුණු යානය එම අවස්ථාවේදීත් ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීමට සූදානමින් සිටියේය.
යානය ආරක්ෂිත ගොඩබැස්වීමකටය නියමුවන් උත්සාහ දරා තිබුණ ද ඒ අතරතුර හෙලිකොප්ටරය ගිං ඔයට කඩා වැටුණි.
හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවා ඇතුළු 05 දෙනා මුදාගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දැරූ අතර පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණි.
කෙසේවෙතත් යානයේ සිටි ගුවන් නියමුවන්ගෙන් එක් නියමුවෙක් අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස මියගොස් තිබුණේ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නිලධාරියෙකි.
අත්දැකීම් බහුල ගුවන් නියමුවෙක් වන ඔහුගේ අභාවය මේ වන විට රටම කම්පාවට පත්කළ සිදුවීමක් බවට පත්ව ඇත.
ඒ අතර ඔහු පිළිබඳ තවත් සංවේදී කරුණක් අද වාර්තා විය.
ගුවන් නියමු නිර්මාල් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා විෂයේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇති අතර ඔහු සූදානම්ව සිට ඇත්තේ හෙට පැවැත්වෙන එම උපාධි ප්රදානෝත්සවය සඳහා සහභාගී වීමටය.
