100වන ටෙස්ට් තරගයේ 100ක් ගහලා වාර්තා අතරට ගිය මුෂ්ෆිකර්

100වන ටෙස්ට් තරගයේ 100ක් ගහලා වාර්තා අතරට ගිය මුෂ්ෆිකර්

November 20, 2025   04:24 pm

100වන ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස්කළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක් වූ ලොව 11වන පිතිකරුවා ලෙසත් සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකිරීමට  මුෂ්ෆිකර් රහීම්ට අද (20) හැකිවිය.

සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී ඔහු මෙම දක්ෂතා දැක්වීය.

18 හැවිරිදි යෞවනයෙකු ලෙස රහීම් 2005 වසරේ දී එංගලන්තයට එරෙහිව ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ඔහු ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරග්තේය.

එතැන් සිට මේ දක්වා වූ වසර 20ක ක්‍රීඩා දිවියේ ඔහු සැලකෙන්නේ ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා එකම බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙසය.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවාද වන ඔහු මේ වනවිට ඉනිම් 183කදී ලකුණු 6,457ක් රැස්කරගෙන සිටියි.

ඊට ශතක 13ක් හා අර්ධ ශතක 27ක් ඇතුළත්ව තිබේ.

මේ අතර අයර්ලන්තයට එරෙහි තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 476ක් රැස්කළේය.

එහිදී රහීම් ලකුණු 106 (214)ක් හා ලිටන් දාස් ලකුණු 128 (192)ක් රැස්කිරීමට සමත් වූහ.