පනත් කෙටුම්පත් දෙකකට COPF සභාවේ අනුමැතිය
November 19, 2025 05:59 pm
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන 4ක් එකතු වන බවය.
පසුව මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සිදු වන අතර මේ මගින් දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළුවීමේ බද්ද එක්සත් ජනපද ඩොලර් 50ක සිට 100 දක්වා ඉහළ නැංවීම සිදු වනු ඇත.
මේ අනුව මේ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ අනුමතිය හිමි විය.
තවද 2004 අංක 11 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ මගින් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු ගෙවීමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම සිදු වේ.
මීට අමතරව (52 වන අධිකාරිය වූ) සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු 32වන වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පවනා ඇති රීති සම්බන්ධයෙන්ද කාරක සභාව සලකා බලන ලද අතර කෙසේ වුවද ඒ සඳහා කරක සභාවේ අනුමතිය හිමි නොවීය.
කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී මෙය සලකා බලීම සිදු කරනු ලබන බවත්ය.
