ඉන්දු - අමෙරිකා සබඳතා ගැන තවත් සාකච්ඡාවක්
සයුරෙන් එතෙර

ඉන්දු - අමෙරිකා සබඳතා ගැන තවත් සාකච්ඡාවක්

October 28, 2025   04:24 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හමුවී තිබේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ මැලේසියාවේ පැවැත්වෙන ආසියාන් සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි.

එහිදී ඔවුන් ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම සාකච්ඡාවලදී කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳව ද අවධානය යොමුවූ බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡා පැවැත්වුණේ ඔවුන් අතර පවතින වෙළඳ සාකච්ඡා මධ්‍යයේ වීමද විශේෂත්වයකි.

ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ පළමු අදියර සඳහා මේ වනවිට සාකච්ඡා වට 5ක් අවසන් කර තිබේ.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිය මැලේසියානු සංචාරයේදී එරට අගමැති, සිංගප්පූරු විදේශ ඇමති සහ තායිලන්තයේ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා එක්වී තිබේ.

රටවල් 11 කින් සමන්විත ආසියාන් සංවිධානය කලාපයේ වඩාත්ම බලගතු කණ්ඩායමක් ලෙස සැලකෙයි.