මත් උවදුරට තවදුරටත් ඉඩ තබන්නේ නැහැ - ජනපති

මත් උවදුරට තවදුරටත් ඉඩ තබන්නේ නැහැ - ජනපති

October 24, 2025   01:16 pm

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම" පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකට එක්වෙමිනි. 

එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටුකිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් ඇති බවද ජනපතිවරයා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර ඇති බවය. 

රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භක උත්සවය ඔක්තෝබර් 30 වැනිදා පෙරවරු 10:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.