අමෙරිකා - කැනඩා මතගැටුම දුරදිග යයි
සයුරෙන් එතෙර

අමෙරිකා - කැනඩා මතගැටුම දුරදිග යයි

October 24, 2025   01:37 pm

කැනඩාව සමග පවත්වන සියලු වෙළෙඳ සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව ජනපති ට්‍රම්ප් පවසයි.

ඒ කැනඩාව තුළ මෑතකදී විකාශය කළ රූපවාහිනි වෙළෙඳ දැන්වීම් මාලාවක් මගින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකු වන රොනල්ඩ් රේගන් 1987 වසරේ සිදු කළ කතාවක් විකෘති කරමින් අමෙරිකානු බදු පිළිබඳව ඍණාත්මක මතයක් ගොඩනගමින් සිටින බවට චෝදනා කරමිනි.

එය, අමෙරිකානු අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කළ ඉතා නරක ක්‍රියාවක් බව ට්‍රම්ප්ගේ මතය වී ඇත.

අමෙරිකාව එල්ල කරන තීරුබදු තර්ජන හේතුවෙන් ඉදිරි දශකය තුළ අමෙරිකාව හැර අනෙකුත් රටවල්වලට සිදුකරන සිය අපනයන දෙගුණ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කානි ප්‍රකාශ කර ඇති පසුබිමක ට්‍රම්ප් මෙවැනි පියවරක් ගැනීම විශේෂත්වයකි.  

කැනඩාවේ මීළඟ අයවැය නොවැම්බර් 4 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිතය.