වැලිගම සභාපති ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය

වැලිගම සභාපති ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය

October 24, 2025   12:04 pm

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩිතැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් යම් යම් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

ඔහු බොහෝ දුරට ආරක්ෂක අංශයකින් පලාගිය අයෙකු බවට සැක කරන බවද පොලීසිය පැවසීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා (22) ප්‍රාදේශීය සභාවේ සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කළේය.

මේ වනවිට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර තිබේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් 2ක් CCTV කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් දුරකථන දත්ත ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක බවය.