අපරාධකරුවන් ඉන්දියාවට ගෙනයන මහමොළකරු ගැන තොරතුරු

අපරාධකරුවන් ඉන්දියාවට ගෙනයන මහමොළකරු ගැන තොරතුරු

October 21, 2025   07:15 pm

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

ඒ ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට හා යාපනයට රැගෙන ගොස් තිබුණි.

ඒ ඇයට සංජීව ඝාතනයෙන් පසුව සැඟවී සිටීමට නවාතැන් සැපයූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහාය.

ඇය එම ප්‍රදේශවල දින 3ක් රැඳී සිට අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් තිබුණි.

ඒ අනුව ඇයට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගයන් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, නීති විරෝධී අයුරින් පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව අනාවරණ වී තිබේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවය.

අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහමොළකරු එම පුද්ගලයා බවට සැකකරන බව පොලීසිය පැවසීය.

සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට පත් වූ ජේ.කේ. බායි නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත අදාළ පුද්ගලයා සම්බන්ධ කර ඇති බවට මේවන විට හෙළිවී තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති එස්.බී. විජේතුංග මහතාගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මකය.

මේ අතර හික්කඩුව, මහවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබේ.

නිවෙස හිමි කාන්තාවගේ දරුවන් දෙදෙනා ඉතාලියේ පදිංචිව සිටින අතර පසුගිය දිනක ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ක්‍රීඩා තරගයක් නැරඹීමේදී ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කරයි.

මේ අතර හික්කඩුව ප්‍රදේශයේ කසලගොඩක සඟවා තිබූ පිස්තෝලයක් හා ජීව උණ්ඩ 24ක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසීය.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ එක් අයෙක් රන්ජිත් නිශාන්ත නම් මේවන විට බන්ධනාගාරව සිටින අයෙකුගේ පුත්‍රයෙකි.

එම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 1 වැනිදා මිටියාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමට අදාළව බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය පැවසීය.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරාගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.