ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම්වලට වර්ෂාවෙන් බාධා

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම්වලට වර්ෂාවෙන් බාධා

October 21, 2025   01:32 pm

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කඳු සහ නාය ගොස් ඇති ස්ථාන යථාතත්ත්වයට පත් කිරීමට තවමත් නොහැකි වී ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශවලට තවමත් දැඩි වර්ෂාවක් ඇද හැලෙන බැවින් පිළිසකර කිරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව පැවසේ.

අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමඟ පසුගිය 19 වනදා ප්‍රධාන දුම්රිය මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීමක් සිදුව තිබුණි.

එම හේතුවෙන් මහනුවර සහ මාතලේ සිට කොළඹ කොටුව සහ මාතර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර සියල්ල අවලංගු කිරීමට කටයුතු කළේය.

මේ අතර ප.ව.02/00 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය පවසයි.

ඒ හේතුවෙන් ප.ව.04/10 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බව දැනුම් දී තිබේ.

එමෙන්ම ප.ව.0125 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවන අතර ඒ හේතුවෙන් ප.ව 04.20 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය දැනුම් දී ඇත.