පැරීසියේ Louvre කෞතුකාගාරයේ සොරකමක්

පැරීසියේ Louvre කෞතුකාගාරයේ සොරකමක්

October 19, 2025   03:27 pm

වසර 200කට වඩා පැරණි ලෝක ප්‍රසිද්ධ පැරිසියේ ලූව් කෞතුකාගාරයේ (Louvre Museum) සොරකමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් කෞතුකාගාරය මේ වනවිට වසාදමා ඇත.

අද (19) උදෑසන කෞතුකාගාරය විවෘත කරන අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

කෙසේ නමුත් සොරකම් කර ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා කර නොමැත.

වසර 232ක් පැරණි මෙම කෞතුකාගාරය 1793 වසරේ දී විවෘත කර තිබේ.

16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කරන ලද සුප්‍රකට මොනාලිසා චිත්‍රය ඇතුළු ලෝක ප්‍රසිද්ධ පෞරාණික වස්තු රැසක් මෙහි ඇත.

ලූව් කෞතුකාගාරය නැරඹීම සඳහා පසුගිය වසරේ පමණක් මිලියන 8.7ක පිරිසක් පැමිණ ඇති අතර, එය එම වසරේ ලොව වැඩිම සංඛ්‍යාවක් නරඹනු ලැබූ කෞතුකාගාරය වේ.

ලියනාඩෝ ඩා වින්චි 1519 වසරේ දී මියයෑමෙන් පසු ප්‍රංශයේ පළමුවන ෆ්‍රැන්සිස් රජු විසින් මොනාලිසා ලබාගෙන ඇති අතර, ඒ හේතුවෙන් එම සිතුවම ප්‍රංශ ජනරජයේ දේපළකි. 

ඒ අනුව එය 1797 සිට ලූව් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.