අත්හැරීම ගැන කාදිනල් හිමියන් දුන් පණිවුඩය
October 19, 2025 01:22 pm
මිනිසුන් තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් සිදුවිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආගම දහමට අනුකූලව ජීවත් වීමට සියලු දෙනාම අදිටන් කර ගත යුතු බවය.
දොඩංගොඩ සපුගහවත්ත ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය.
එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ සෑම පුද්ගලයෙකුටම වැදගත් වන්නේ සමාජයේ ජීවත්වන ආකාරය මිස එක්රැස් කරගන්නා දේවල් නොවන බවය.
එහිදි අදහස් දැක්වු අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
''ආදරණීය සහෝදර, සහෝදරියනි, අපි මේ ජුබිලි උත්සවය පවත්වලා, මේ පල්ලි හදලා වැඩක් නැහැ. මේවා ගොඩනැගිලි විතරයි. අපි හැදෙන්නට ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. එහෙම නැත්නම් ජීවිතයෙන් වැඩක් නැහැ. ඕක තිබිලා නැතුව යනවා. මේ ලෝකයේ අපි එකතු කරන කිසි දෙයක් අරන් යන්න බැහැනේ. මට මතකයි මම පල්ලියක ඉන්නකොට දවසක ගියා එක ගෙදරක මනුස්සයෙක් මැරිලා. ඉතින් එයාගේ නෝනා පපුවට ගහගන්නවා, විලාප තියෙනවා. මම අද උඹත් එක්ක වලට පැනලා මැරෙනවා සයිමන් අයියේ කිය කිය පපුවට ගහගන්නවා මෙයා. ඉතින් මම කිව්වා මේ පොඩ්ඩක් ඉන්න. නිශ්ශබ්ද වෙන්න කියලා. දැන් ඉතින් කොහොමහරි ආශිර්වාද කරලා මිනී පෙට්ටිය වහන්න යනකොට ඒ අර පනිනවායි කියපු ගෑණු කෙනාම නැමිලා අර මනුස්සයාගේ ඇඟිල්ලේ තියෙන රත්තරන් මුද්ද ගලවගත්තේ නැද්ද ඒක ගෙනියන්න දුන්නෙත් නැහැ. වලට පනිනවායි කියපු එක්කෙනා තමයි මුද්ද ගලව ගත්තේ. ඉතින් එකක්වත් අරන් යන්න හම්බවෙන්නේ නැහැ. සේරම තියලා යන්න ඕනේ.
එහෙම නම් අද සමාජයේ තියෙන්නේ පරිභෝජනවාදය සමහර ඈයෝ ගිහිල්ලා අර කරත්තයක් උස්සගෙන යනවා ඇතුළට. ඕන කරන දේත් ඕන කරන්නේ නැති දේත් දාගෙන ඇවිල්ලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා ඒවා විසිකරලා දානවා. නැත්නම් මේ ගෑණු උදවිය යනවා ෆැෂන්. ඔක්කොම යනවා අර රෙදි කඩවලට. රෙදි කඩවලට නත්තල් කාලේ එනකොට සිංහල අවුරුදු කාලේ එනකොට පෝලිම. අරන් ඇවිල්ලා අල්මාරියේ දාලා තියෙනවා. කවදාවත් පාවිච්චි කරන්නෙත් නෑ. මේකට තමයි කියන්නේ පරිභෝජනවාදය කියලා. අද සමාජයේ අපිට තියෙන්නේ අන්න ඒක තමයි. පුළුවන් තරම් එකතු කරන්න, එකතු කරන්න, එකතු කරන්න. කිසි දෙයක් අරන් යන්න බැහැ. හදිස්සියේ එන්න පුළුවන් කැඳවීම. ක්‍රිස්තු වර්ෂ 2150 වෙනකොට, මෙතන ඉන්න එක්කෙනෙක්වත් ජීවතුන් අතර නැහැ. ඒක මතක තියාගන්න.''