ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

October 18, 2025   09:43 am

2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වනු ඇත.

අවසන්වරට ඉකුත් සැප්තැම්බර් මස චීනයේ හැංෂෝ හිදී පැවති අදියරේ පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය.

එම අදියරේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වන ස්ථානයට පත් වූ අතර, කාන්තා කණ්ඩායම 9වන  ස්ථානයට පත්විය.

මේ දක්වා පැවති තරග අනුව පිරිමි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ හොංකොං පසුවන අතර, සෙසු ස්ථාවල පිළිවෙළින් ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, කොරියාව, චීන තායිපේ, උස්බෙකිස්තානය හා සිංගප්පූරුව පළමු දසදෙනා අතර පසුවෙයි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ' C' කාණ්ඩයෙන් තරගවදින අතර, ඊට චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය දහවල් 12:40ට උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව සිංගප්පූරුව සමගින් ප.ව. 5:04ටද, චීනය සමග රාත්‍රී 9:50ටද තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගය පෙ.ව. 10:28ට තායිලන්තයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.

කාන්තා කණ්ඩායමට රන්දිකා කුමුදුමාලි නායකත්වය ලබාදේ.

මෙම තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට  ශ්‍රී ලංකා රග්බි සංගමය අවස්ථාව ලබා දී ඇත.