තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල දෙහිබාලේ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි
October 16, 2025 08:16 pm
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.
ඔවුන් අවුරුදු 24 ත් 56ත් අතර වයස්වල පසුවන දෙවුන්දර, දෙවිනුවර, සුල්තානාගොඩ සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 19කට අධික ප්‍රමාණයක්, අශ්වබල 40 බෝට්ටුවක්, මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 840කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් පෙරේදා රාත්‍රියේ සිය භාරයට ගනු ලැබීය.
ඒ අතරට කිලෝග්‍රෑම් 670කට අධික අයිස්, කිලෝග්‍රෑම් 12 කට අධික හෑෂ් සහ කිලෝග්‍රෑම් 156 කට අධික හෙරොයින් අයත් වේ.
මේ අතර මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.
මෙම උර තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන්නැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අවසර ලබාදී තිබේ.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය වරාය භූමියට ගෙනඒමෙන් පසු එහි සැරිසරමින් සිටි සුනඛයින් ඊයේ පස්වරුවේ සිට අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරන බව ධීවරයින් පවසයි.
ධීවරයින් සැකකරන්නේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කිසියම් ආකාරයකින් ජලයට මිශ්‍රවීමෙන් පසු ඒවා පානය කළ සුනඛයින්ගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය වූ බවය.
එමෙන්ම, සුනඛයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.
මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද උදෑසන එහි පැමිණියේය.
එහිදී සුනඛයින් අසළට ළංවීමෙන් වළකින ලෙසට ඔහු උපදෙස් ලබාදුන් අතර මේ පිළිබඳව පශු වෛද්‍ය කාර්යාලය දැනුම්වත් කරන බවත් ඔහු සඳහන් කළේය.