ලොකු පැටී ගේ මුදල් පාලනය කළ කපු මහතෙකු අත්අඩංගුවට
October 16, 2025 05:33 pm
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 'ලොකු පැටී' නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශන නිලධාරීන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවය.
ලොකු පැටී සමග ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.
ඔහු විසින් ලොකු පැටීගේ කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය පැවසීය.
සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.