මතට ඇබ්බැහිවූවන් වෙනුවෙන් ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10ක්

මතට ඇබ්බැහිවූවන් වෙනුවෙන් ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10ක්

October 16, 2025   04:27 pm

මතට ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, වැලිකන්ද නව සේනපුර නවෝදා තෘතිය හා වෘත්තිය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම වෙනුවෙන් එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ අද (16) පැවති උත්සවයට සහභාගිවෙමිනි.

මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක් ගොඩනැංවීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව පුනරුත්ථාපනය වීමේ හැකියාව පවතියි.

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමට නම් ඒ සඳහා පවතින ඉල්ලුම සහ සැපයුම් නතර කළ යුතු බවත් සැපයුම නතර කිරීමේ කාර්යය පොලීසිය ඇතුළු අංශ විසින් මේ වන විට සිදු කරන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මීට පෙර දේශපාලඥයන් මත්ද්‍රව්‍ය තුරන් කරන බව පැවසුවේ මැතිවරණ කාලයේදී පමණක් වන අතර වර්තමානය වන විට මේ උවදුර  තුරන් කිරීමට තම රජය විසින් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද පැවසුවේය.

එහිදී ඔහු පැවසුවේ පාතාලය වර්ධනය වී ඇත්තේ මත්ද්‍රව්‍ය තුළින් උපයා ගන්නා මුදල්වලින් වන අතර මෙසේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් හේතුවෙන් රටට බිලියන ගණනක පාඩුවක් සිදු වන බවය.

අද වන විට බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් 23,000කට අධික පිරිසෙන් 15,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් බන්ධනාගාරගත වූවන් වන බවද එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම පුනරුත්ථාපනය වු පුද්ගලයින් පිළිබද සමාජය තුළ යහපත් ආකල්පයක් නොමැති බැවින් පුනරුත්ථාපනය යන වචනය පවා වෙනස් විය යුතු බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයාට අවශ්‍ය වන්නේ උපදේශනය බවය.

මතට ඇබ්බැහිවුවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මෙවැනි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බවත් මෙම උවදුරින් සමාජය බේරා ගැනීම වෙනුවෙන් සියලු දෙනා තුළ ආකල්ප වර්ධනයක් අවශ්‍යය වන බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය.

එමෙන්ම පවතින නීතියෙන් පමණක් මත්ද්‍රව්‍ය පාලනය කළ නොහැකි බැවින් මෙම ව්‍යසනය ජාතික උවදුරක් බවට වටහා ගනිමින් එය තුරන් කිරීමට සමාජයම එක් විය යුතු බවත් විශේෂයෙන් මතට ඇබ්බැහි විය හැකි අවදානම් සහිත පුද්ගලයින්, දරුවන් හඳුනා ගැනීමේ බිම් මට්ටමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අමාත්‍යතුමා පැවසුවේය.

එමෙන්ම පුනරුත්ථාපන කාර්යාංශය මගින් මෙතෙක් පුනරුත්ථාපනය කරනු ලැබුවේ අධිකරණ නියෝග මත යොමු කරනු ලබන පුද්ගලයින් පමණක් වන අතර නව ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ මතට ඇබ්බැහි වු පුද්ගලයින්ට තම ආකල්ප සහ කුසලතා වර්ධනය කර ගනිමින් සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමේ හැකියාව ඇති බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.