ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියෙන් නඩු ගාස්තු ලෙස රු.මි. 15.01ක් වැයකරලා

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියෙන් නඩු ගාස්තු ලෙස රු.මි. 15.01ක් වැයකරලා

October 16, 2025   02:28 pm

2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනු කළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු මිලියන 15.1ක් වැයකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

මෙහිදී පැමිණි නිලධාරීන්ගෙන් විමසීමේදී හෙළි වී ඇත්තේ මෙම නඩුවලට අදාළව එක් නඩුවාරයකට පෙනී සිටීමට නීතීඥයෙක්ට රු. ලක්ෂ 6ක් ගෙවා ඇති බවය.

නමුත් මෙම නඩුවේ තීන්දුව ලෙස අදාළ මුදල් අධ්‍යක්ෂවරයා සියලු හිඟ වැටුප් සහ දීමනා සහිතව නැවත සේවයේ පිහිටුවීමට අධිකරණයෙන් නියෝග කොට ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇත.

නමුත් අධිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවද මෙහිදී හෙළිවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති අතර කාරක සභාව පෙන්වා දී ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට මෙම කාල සීමාවේ කටයුතු කර ඇති බව පැහැදිලි වන බවය. 

මේ හේතුවෙන් මහජන මුදල් අවභාවිත වී ඇති බව ද කාරක සභාව පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ අනාවරණය වූයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එසේම අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කිරීමට රු. මිලියන 5.59ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් පිළියෙළ කර තිබුණද එය ඊට අදාළ ඉංජිනේරුවරයෙකු අනුමත කර නොතිබුණු බව කෝප් කාරක සභාව පෙන්වා දෙන දී ඇත.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම අලුත්වැඩියා කිරීම් සිදු කරන සමයේ අධිකාරිය සතුව ප්‍රමාණවත් මුදල් නොතිබුණු බවත් මේ නිසා කොන්ත්‍රාත්කරුවෙකු සොයා ගැනීමට අපහසු වූ බවත්ය. 

මේ නිසා ඉතා අපහසුවෙන් මෙම මුදලට කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවූ බවය. 

නමුත් කාරක සභාව පෙන්වා දුන්නේ අඩු මුදලකට කොන්ත්‍රාත්කරුවෙකු සොයා ගන්නට සිදු වුවද එය අත්‍යාවශ්‍ය කරුණක් වන බවය.

කෙසේවෙතත් ඉදිරියේදී එවැනි දේ සිදු නොවීමට කටයුතු කළ යුතු බව කාරක සභාව උපදෙස් දී ඇත.