නීතිඥ වන්නිනායක අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බවට දැනුම්දීමක්
October 15, 2025 12:16 pm
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.
එහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රධානය කිරීමට තම අධිකරණයට නොහැකි බවය.
පෙත්සම්කාර නීතිඥවරයා මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සුදුසු බවත් මෙහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම හෙට (16) දහවල් 1.30 ට කැඳවන ලෙසත් අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.