මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේදී නව තරග වාර්තා රැසක්
October 15, 2025 03:49 pm
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි සමාප්ති උළෙල උත්කර්ෂවත් ව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවැත්වුණි.
මෙහිදී දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් පහළොස් දහසකට ආසන්න පිරිසක් කණ්ඩායම් තරග සඳහා ද, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක – ක්‍රීඩිකාවෝ පන්දහසකට ආසන්න පිරිසක්ද සහභාගි වූ අතර, පාසල් 1,170 ක් නියෝජනය කර තිබේ.
අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක සම්මාන ලබන අතර වාරයේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ජිත්මා විජේතුංග අති ශූරතම මලල ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.
අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 49.90 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් අයෝමාල් අකලංක ද අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 54.09 ක තරග නිමි කාලය පදනම් කර ගනිමින් ජිත්මා විජේතුංග ද අදාළ සම්මාන දිනා ගත්හ.
මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ජවන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට කඳාන ශාන්ත සෙබෙස්තියන් විදුහල නියෝජනය කළ ඔමෙල් සශින්ත (අවුරුදු 20 න් පහළ මීටර් 400 - තත්. 46.17) සමත් ව තිබේ.
දක්ෂතම විසි කිරීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල නියෝජනය කළ එච්. යූ. ජයසිංහ (අවුරුදු 20 න් පහළ යගුලිය දැමීම - මීටර්. 16.27) ට හැකියාව ලැබිණි.
මෙවර දක්ෂතම කඬුළු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක (අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීම - තත්.49.90) සමත් විය.
දක්ෂතම පැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිරිනැමෙන කුසලානය දිනා ගැනීමට කොළඹ 06, ශාන්ත ලෝරන්ස් විදුහල නියෝජනය කළ ඔෂිනී කොඩිකාර (අවුරුදු 20 න් පහළ බාලිකා දුර පැනිම මීටර් 06. 03) සමත් වූවාය.
මෙවර ක්‍රීඩා උළෙල වර්ණවත් කළ ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ තරුෂී අභිෂේකා ප්‍රේමසිරි ක්‍රීඩීකාව තමන් සහභාගී වූ ඉසව් ත්‍රිත්වය ජය ගත්තේ නව තරග වාර්තා ත්‍රිත්වයක් බිහි කරමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය විසින් සංවිධානය කර තිබුණු මෙවර තරගාවලියට ද මධ්‍යම, සබරගමුව, ඌව, උතුර, දකුණ, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී තිබුණි.
මෙවර මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතව සමස්ත ලංකා පාසල් තරග වාර්තා 38 ක් වාර්තා වීම කැපී පෙණුනි.
දින 05 ක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතා කුසලාන මීගමුවට රැගෙන යාමට මාරිස්ටෙලා විදුහල (ලකුණු 148) සමත් වූ අතර සමස්ත බාලිකා ශූරතා කුසලාන වත්තලට රැගෙන යාමට ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 213) ට සමත් විය.
මාරිස්ටෙලා විදුහල මෙන්ම ලයිසියම් ජාත්‍යන්තර පාසල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතා කුසලාන නොකඩවා දිනා ගන්නා ලද තෙවන අවස්ථාව විය.
බාලක අනු ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල ( ලකුණු 99) ට හිමි වූ අතර බාලිකා ලකුණු ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 93 ) සතු විය.
සමස්ත බාලක සහ බාලිකා තෙවන ස්ථානය පිළිවෙලින් තහවුරු කර ගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 77) සහ පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 61) සමත් විය.
ලකුණු 1,277 වාර්තා කර ගනිමින් අන්තර් පළාත් සටනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
අනු ශූරතාව මධ්‍යම පළාත (ලකුණු 414) ට හිමි වූ අතර තෙවැනි ස්ථානය වයඹ පළාත (ලකුණු 315.5) සතු විය.
අවසන් දිනය වූ ඊයේ දිනයේ බිහි වූ නව තරග වාර්තා සංඛ්‍යාව 09 කි.