විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
October 15, 2025 11:24 am
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථානමාරුකර යවා ඇති බව වාර්තාවෙයි.
අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වසර 31 පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් ද එල්ලවී නොමැති බව පොලිස් ආරාංචි මාර්ග පවසයි.
ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් රාජකාරී කටයුතු සිදුකරනු ලැබීය.
එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගැනීම විශේෂත්වයකි.
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීමේ අරමුණින් ,"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සමගාමීව ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් සහ ගැනියන් (දැල් ඇදීමට සහාය වන පිරිස) දැනුවත් කිරීමේ වැඩසටහන් ද දිවයින පුරා හේමාල් ප්‍රශාන්ත මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේය.
ඒ හේතුවෙන් දකුණේ බෝට්ටු ස්කිපර්වරුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒමේ කටයුතුවලින් ඈත්ව ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් බෝට්ටු කිහිපයක් ඉදිරියේදී ගොඩබිමට ගෙන ඒමට නියමිත බවද වාර්තා වෙයි.
ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව කරන ලද වැටලීමේදී දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් සොයා ගැනුණි.
එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බව පොලීසිය පවසයි.
මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගු බව වාර්තා වෙයි.
මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධික්ෂණයෙන් සිදුකළ වැටලීමක් වීමද විශේෂත්වයකි.