කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

October 5, 2025   08:28 pm

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන්ගත් සැකකටයුතු රියක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණි.

ඒ එම නිලධාරීන් පෙන්වූ සීසීටීවී දර්ශනවල සැකකටයුතු රුවක් හඳුනාගනිමිනි.

කෙසේවෙතත් ඉන් පසු කජ්ජාගේ 17 හැවිරිදි පුත්‍රයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිය මව කළ අනාවරණය ප්‍රතික්ෂේප කළ අතර අදාළ වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ටද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ ඇයිදැයි පොලිසියෙන් විමසා සිටියේය.

කෙසේවෙතත් රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේය.

මෙවන් පසුබිමක අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් ඉදිරියේදි කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම කජ්ජාගේ ඥාතීන්ගෙන්ද ඉදිරියේදි ප්‍රකාශ ලබා ගන්නා බවත් ඔවුන්ටද තාජුඩීන්ගේ අනතුරට අදාළ cctv දර්ශන පෙන්වා එහි සිටින අනෙක් පුද්ගලයා මිද්දෙණියේ කජ්ජාද යන්න පිළිබඳව විමසීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගෙන් හෙළි වු තොරතුරු මත අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා දින 07ක් රඳවා විමර්ශන කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබේ.