ළමුන් 250ක් රැගෙන ඉහළ අහසට ගිය ගුවන් ගමන

ළමුන් 250ක් රැගෙන ඉහළ අහසට ගිය ගුවන් ගමන

October 1, 2025   11:18 am

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාසල් සිසුන් 250ක් රැගත් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් මෙරට විශාලතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී තිබේ.

අදට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ට ‍මෙරට ආකර්ශනීය සහ ඓතිහාසික ස්ථාන ගුවනින් නැරඹීම සඳහා අවස්ථාව සලසා දුන් "දෙරණ සිග්නල් අහසින් ගමනක්" වැඩසටහන අද (01) පෙරවරුවේ සාර්ථකව දියත් කෙරුණි.

මෙරට දරුවන්ට නවමු අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් සංවිධාන කෙරුණු එම ගුවන් ගමන සඳහා එක්වූ දරුවන් ගණන 250කි. 

දරුවන්ට හොඳම දේ හැමදාමත් ලබාදෙන 'ටීවි දෙරණ' මෙවර ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ දරුවන්ට නවමු අත්දැකීමක් ගෙනඒමට තීරණය කළේය.

ඒ අනුව "දෙරණ සිග්නල් අහසින් ගමනක්" වැඩසටහන ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකාවේ අසිරිය ගුවනින් දැක බලාගැනීමේ අවස්ථාව පළමුවරට දරුවන් පිරිසකට උදාකර දීමේ අරමුණින්.

මෙම වටිනා අවස්ථාව සඳහා වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් තෝරාගැනුණේ "අහසින් දකින මගේ රට" තේමාව යටතේ අඳින ලද චිත්‍රයක් හෝ වචන 250ට නොඅඩු රචනාවක් හෝ මාතෘකාව පිළිබඳ දරුවා කතාකරන වීඩියෝවක් තැපෑලෙන් හෝ WhatsApp හරහා එවන්නැයි දැනුම්දීමෙනි.

ඒ අනුව "අහසින් දකින මගේ රට" තේමාව යටතේ එවූ නිර්මාණ අතරින් දක්ෂතම සහ නිර්මාණශීලීම චිත්‍ර , රචනා සහ වීඩීයෝවලින් දරුවන් 250 දෙනෙකු "අහසින් ගමනක්" වැඩසටහන සඳහා තෝරාගැනුණි.

එලෙස තෝරාගත් දරුවන් 250 දෙනා අද පෙරවරුවේ දෙරණ ප්‍රධාන කාර්යාලයට පැමිණියේ සිය ජීවිතයේ හිමිවන නවමු අත්දැකීමේ ලබාගැනීමේ අරමුණින් ය.

සුඛෝපභෝගි බස් රථ 5කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කැටුව ආ දරුවන් ගුවන්තොටුපළ බලධාරීන් විසින් මෙලෙස පිළිගනු ලැබීය.

සැබෑ ගුවන් ගමනක අත්දැකීම ලබාදෙමින් දරුවන් , ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් විශාලතම ගුවන් යානය වන UL 20 ගුවන් යානයට නැංවුවේ ඇතැමුන්ගේ සිය ජීවිතයේ පළමු ගුවන් ගමනේ සිහිනය සැබෑ කරදෙමිනි.