ජනපති සහ ජයිකා සභාපතිවරයා අතර සාකච්ඡාවක්

ජනපති සහ ජයිකා සභාපතිවරයා අතර සාකච්ඡාවක්

September 30, 2025   06:07 pm

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී  ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සභාපති  ටනාකා අකිහිකෝ  මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

ජාතික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ජයිකා හරහා සහනදායී යෙන් ණය නැවත  ලබා දීම ආරම්භ කරමින්  ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී  සිය කෘතඥතාව පළ කළේය. 

ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ප්‍රගතියේ ප්‍රධාන සාධක ලෙස පෞද්ගලික අංශය, කාර්මික සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර සංවර්ධනයේ වැදගත්කම ජයිකා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කළමණාකරණය නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකාව සමඟ පවතින දිගු කාලීන සහයෝගීතාව තවදුරටත් පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.  

බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමණාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සහ AI Neutral Center ඇතුළුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය  ප්‍රශස්ත මට්ටමකට නගා සිටුවීම සඳහා සහාය ලබා දෙන ලෙස  ශ්‍රී ලංකා නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ.

ජපාන - ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධව ප්‍රදාන ගිවිසුම අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරිණි.