ජනතාවට වග කියන සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමති කියයි

ජනතාවට වග කියන සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමති කියයි

September 28, 2025   10:14 am

ජනතාවගේ සුවතාවය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාර ගන්නා සේම ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

රජයේ සුවපත් රටක් උදෙසා නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන 100ක් ජනගත කිරීමට නියමිත අතර ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන" ලෙසද නම් කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් පැවතිය බවත් එම අභියෝග ජයගෙන සුවතාවට පවත්වාගෙන යාමේ අභියෝගය ජය ගැනීමට කටයුතු කරන බවත්ය.

මේ සඳහා සියලු ප්‍රජාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය පවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයද ලබා දෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබා දීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර සහන, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුප්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමක සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමටද නියමිත අතර ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේනික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන්ද ස්ථාපිත කිරීමට යෝජිතය.