නවකවධ සිද්ධියකට වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු රිමාන්ඩ්
September 26, 2025 03:42 pm
කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්ව ඇත්තේ කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ කටුපොත, මාරකවිට, උකුවෙල යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකි.
පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ සිද්ධියෙන් පහරකෑ සිසුවා මේ වන විටත් තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ යුතු බවත්ය.
එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ සැකකරුවන් ලෙස නම් කර ඇති සිසුන් හා පැමිණිලිකරු එකම සරසවියක සිසුන් බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ මහතා නියෝග සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ආවරණ සහිතව ඉදිරිපත් කරන්නැයිද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.