පාකිස්තානය අවසන් සටනට
September 26, 2025 12:01 am
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කර ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (25) සමත් විය.
මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 136ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි.
ඉන්දීය කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර, ඒ අනුව ඉන්දියාව හා පාකිස්තානය එළැඹෙන 28වනදා අවසන් මහා තරගයේ දී තරග වදිනු ඇත.
මෙහි විශේෂත්වය වන්නේ ආසියානු කුසලාන ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැති වීමය.
ඒ අනුව වසර 41ක (1984 සිට/ අදියර 17) ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පවත්වන උණුසුම් අවසන් මහා තරගය මෙවර පැවැත්වෙනු ඇත.
බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 135ක් පමණි.
එක්දින හා විස්සයි20 ද්විත්ව ආකෘති යටතේම ඉන්දියාව ආසියානු කුසලාන 8කට හිමිකම් කියන අතර, පාකිස්තානය දෙවරක් ආසියානු ශූරයන් වී සිටියි.
බංග්ලාදේශය අවස්ථා 3කදී අවසන් මහා තරගය ක්‍රීඩාකර ඇති වුවත්, ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පරාජය වී ඇත.