අ.ඩො.බිලියනයක වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි

අ.ඩො.බිලියනයක වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි

September 23, 2025   08:21 am

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම   X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රංශ පුවත් සේවය (AFP) සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පවසා ඇත්තේ, මෙම වන්දිය ගෙවීමක් කළහොත් එයින් පවතීන සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවය.

එමෙන්ම සමුද්‍රීය වෙළෙඳාම්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහනය යන කටයුතුවලදී සිදුවන අනතුරු සඳහා සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව වන්දි ගෙවීම් සිදුකරණ නමුත් මෙම වන්දි ඉල්ලීම අදාළ සීමාවන් පැන ඇති බව ඔහු සංවාදයේදී පවසා ඇත.

මෙම ගෙවීම සිදුකළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බවද ඔහු එහිදි පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, සිදු වූ හානීය සම්බන්ධයෙන් කනගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදුනොකර නමුත් එම වන්දි ගෙවීම් සිදුකරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.

පසුගිය ජූලි මස 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ නෞකා සමාගමට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට නියම කර තිබුණි.

එමෙන්ම පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතුය බවත් අධිකරණය නියම කළ හැකි පරිදි අනාගතයේදී "වෙනත් සහ තවත් ගෙවීම්" කිරීමටද එය සමාගමට නියෝග කර ඇති බව සඳහන් වේ.

එම වන්දි මුදල් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා  තිබූ 'එම්.වී එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ 2021 මැයි මස 20වන දාය.

නෞකාව දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34කි.

නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යෑම  ආරම්භ කළත් එය ගෙන යා හැකි වූයේ මීටර 500ක දුරකට පමණි.

නෞකාවේ පිටුපස කොටස ක්‍රමයෙන් මුහුදු ජලයෙන් යටවීම නිසා අතරමග එම උත්සාහය අත්හැර දැමුණි.

සායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන අඩංගු බහාලුම් 1,486ක් මේ නෞකාවේ ප්‍රවාහනය කෙරෙමින් පැවති අතර නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25, ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 78ක් ඊට ඇතුළත් විය.