සෞදි - පාකිස්තාන ගිවිසුම ගැන ඉන්දියාව අවධානයෙන්
සයුරෙන් එතෙර

සෞදි - පාකිස්තාන ගිවිසුම ගැන ඉන්දියාව අවධානයෙන්

September 18, 2025   11:21 am

සෞදි අරාබිය සහ පාකිස්තානය අතර අත්සන් තැබුණු උපායමාර්ගික අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ අධ්‍යයනය කරන බව ඉන්දියාව පවසයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පවසා ඇත්තේ සෞදි අරාබිය සහ පාකිස්තානය අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ වාර්තා ඉන්දියාව දුටු බවය.

එමෙන්ම රන්දීර් ජයිස්වාල් පෙන්වා දෙන්නේ සිය රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය සඳහා මෙය ඉන්දියාව අධ්‍යයනය කරමින් සිටින බවය.

ඉන්දියාවේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ ජාතික ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් පවසයි.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ගල්ෆ් රාජ්‍ය සංචාරය අතරතුරදී පාකිස්තානය සහ සෞදි අරාබිය උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇත.