තවත් පනත් කෙටුම්පතකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

තවත් පනත් කෙටුම්පතකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

September 17, 2025   03:40 pm

එළැඹෙන 23 වනදාට පාර්ලිමේන්තුවේ දෙවනවර කියවා අනුමත කිරීමට නියමිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලද බව දැනුම් දී තිබේ.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  1984 වසරේ සිට ක්‍රියාත්මක වුවද, එම ආයතනය මේ වන තෙක්ම පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර නොමැති බැවින් ආයතනයට පැවරී ඇති රාජකාරි, වගකීම් සහ සේවාවන් නිසි පරිදි ඉටුකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට නීතිමය තත්ත්වයක් ලබාදීම මෙම යෝජිත පනතින් අපේක්ෂා කරන බව සඳහන් වේ.

නායයෑම් සම්බන්ධයෙන් තම සංවිධානය විසින් නිකුත් කරන ලද නිර්දේශ පළාත් පාලන ආයතන නිසිලෙස පිළිපදින්නේ නැති අවස්ථාවන්හි යෝජිත මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන බවත් නිලධාරීන් කාරක සභාව හමුවේ කරුණු දක්වා ඇත.

තවද මෙම රැස්වීමේදී  2023 සහ 2022 සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තා සහ 2024 සහ 2023 සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා ද සලකා බලන ලදී.

වන සතුන්ගෙන් බෝග ආරක්ෂා කිරීම සඳහා ලබාදී ඇති අවි ප්‍රමාණය සම්බන්ධයෙන් කාර්ය සාධන වාර්තාවේ ඉස්මතු කර ඇති කරුණු පිළිබඳව කාරක සභාව විමසා සිටියේය.
 
ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු දිස්ත්‍රික් මට්ටමින් මේ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු රැස් කර අමාත්‍යාංශයේ තොරතුරු සමඟ සැසඳීමට පියවර ගෙන ඇති බව පැවසුහ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම වාර්තා සළකා බලා අනුමත කරන ලදී.