බිලිඳියක් ඇතුළු හත්දෙනෙකුට දිවි අහිමි කළ මාරක රියඅනතුරු
September 17, 2025 08:57 am
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (16) දිනයේ සිදු වූ රියඅනතුරු වලින් බිලිඳියක් ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තිබේ.
මෙම මාරක රිය අනතුරු වාර්තා වී ඇත්තේ මුරුන්කන්, ඇඹිලිපිටිය, නොච්චියාගම, පෑලියගොඩ, ගන්දර, පේරාදෙණිය සහ පන්නල යන පොලිස් වසම්වලින්බව සඳහන් වේ.
ඊයේ රාත්‍රියේ මුරුන්කන් සිලාවතුර මාර්ගයේ නීලමඩු වංගුවේ දී මඩුකරය දෙස සිට සිලාවතුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මුරුන්කන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33 ක් වූ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ පස්වරුවේ ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ ඇඹිලිපිටිය නගරය ආසන්නයේදී මොරකැටිය දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටීමෙන් පසු වෑන් රථය නොනවත්වා පලා යමින් සිටියදී රත්නපුර නෝනාගම මාර්ගයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයකද නැවත ගැටී එම ස්ථානයෙන්ද පලා යාමට උත්සහා කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසිය වෙත භාර දී ඇත.
මෙහි පළමු වරට ගැටී අනතුර සිදුවූ පාපැදිකරු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 36 ක් වූ ලියනෑගම, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සිදු වන අවස්ථාවේ රියදුරු මත්පැන් පානය කර සිට ඇති බවට වෛද්‍ය වාර්ථා මගින් තහවුරුවී ඇති අතර, ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, ඊයේ උදෑසන නොච්චියාගම කුකුල්කටුව මාර්ගයේ ඇත්පන්තියාව හන්දිය අසලදී නොච්ච්යාගම දෙස සිට කුකුල්කටුව දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 60 ක් වූ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
එමෙන්ම ඊයේ සවස කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රෝහණ විහාරය අසලදී කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව අසල නවතා තිබූ යතුරුපැදියක හා කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවකගේ අතෙහි සිටි කුඩා දැරියක් සහ දරුවෙකු බරපතළ තුවාල ලබා රිජ්වේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කුඩා දැරිය මියගොස් ඇත.
තවද ඉහත දරුවන්ගේ මව, ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ ගමන් කල තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මරණකාරිය වයස මාස 03 දින 23 ක් වූ පට්ටිය හන්දිය, කැළණිය ප්‍රදේශයේ පදිංචි දැරියකි.
ඊයේ උදෑසන මාතර දික්වැල්ල මාර්ගයේ කන්දගොඩැල්ල හන්දිය අසලදී මාතර දෙස සිට ගන්දර දෙසට ධාවනය වූ කාර් රථයක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට හැරවීමට ගිය ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
ගියගොස් ඇත්තේ අවුරුදු 63 ක් වූ කපුගම, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
එමෙන්ම ඊයේ උදෑසන රිකිල්ලගස්කඩ පේරාදෙණිය මාර්ගයේ මහකන්ද ප්‍රදේශයේදී පේරාදෙණිය දෙසට ධාවනය වූ බස් රථයක ගමන්කළ මගියෙකු පාපුවරුවෙන් ඇද වැටීමෙන් සිදු වූ අනතුරෙන්, මඟියා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 78 ක් වූ හිඳගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර ඊයේ උදෑසන පන්නල ගිරිඋල්ල මාර්ගයේ කෝංගස් හන්දිය ප්‍රදේශයේදී මීගමුව දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුම්පොලෙහි මඟීන් බස්සවා නැවත ගමන් ආරම්භ කිරීමේදී පදික කාන්තාවක් බස් රථයට ගොඩවීමට බස් රථයට ඉදිරියෙන් පැමිණිමේදී එම බස් රථයේ ඉදිරිපස රෝදයට යටවීමෙන් සිදු වූ අනතුරින් පදික කාන්තාව බරපතළ තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 80 ක් වූ තලමිවැහැර, පන්නල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.