උතුරු කොරියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉහළට
September 13, 2025 03:40 pm
උතුරු කොරියාව තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.
විශේෂයෙන් විදෙස් චිත්‍රපට හා රූපවාහිනී ටෙලි නාට්‍ය නැරඹීම යනාදී සිද්ධීන්වලට අදාළව මරණ දඬුවමට ලක්වන උතුරු කොරියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව එම කාර්යාලය පෙන්වා දී ඇත.
උතුරු කොරියානු ජනතාව බාහිර ලෝකය සමඟ සම්බන්ධවීම වැළැක්වීම සඳහා ගතවූ දශකය තුළ එරට පාලනය විසින් දැඩි නීති ක්‍රියාත්මක කර ඇති අතර එමගින් එරට පුරවැසියන්ගේ ජීවිතයේ සියළු අංශ පාලනයට ලක් කර ඇති බව සඳහන්.
වර්තමාන ලෝකයේ එවැනි නීති රීතිවලට යටත්වූ ජනතාවක් වෙනත් කිසිදු රටක නොමැති බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දී තිබේ.