ඊශ්‍රායල - පලස්තීන ගැටලුව සඳහා නව යෝජනාවක්

ඊශ්‍රායල - පලස්තීන ගැටලුව සඳහා නව යෝජනාවක්

September 13, 2025   02:13 pm

ඊශ්‍රායල - පලස්තීන ගැටලුව සඳහා ද්වි-රාජ්‍යය පිළියමක් ඇතිකිරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ සම්මත කෙරිණි.

ඒ සඳහා රටවල් 142ක් පක්ෂව ද, රටවල් 10ක් විපක්ෂව ද ඡන්දය ලබාදුන් අතර, ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 12කි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය යෝජනාවට විපක්ෂව ඡන්දය දුන් රටවල් අතර වේ.

සෞදි අරාබිය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් පසුගිය ජූලි මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස පිටු හතකින් සමන්විත මෙම යෝජනාව ඊයේ සම්මත වී ඇත.

සැප්තැම්බර් විසි දෙවැනිදා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව අතරතුර පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගැනීම සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් සූදානමින් සිටින පසුබිමක මෙම යෝජනාව සම්මත වීම විශේෂත්වයකි.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත කෙරුණු මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවය.