විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලුවලට අගමැතිනියගෙන් විසඳුම්
September 12, 2025 10:15 pm
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී වෘත්තීය සංගම් නියෝජිතයන් ඔවුන්ට මතුව තිබෙන වැටුප් අනුපාතය ප්‍රතිශතයක් ලෙස පහත වැටී තිබීම, එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව, අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
දැනට ක්‍රියාත්මක වැටුප් වැඩිකිරීමට සමගාමී ව අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් අනුපාතය ක්‍රමික ව 20% සිට 11%ටත් දැනට 11% සිට 6.94% දක්වා අඩුවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව එහිදී අවධාරණය කෙරිණ.
මීට පෙර රාජ්‍ය සේවක වැටුපට සමගාමීව ඔවුන්ගේ වැටුප ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබූ බවත් අවුරුදු කිහිපයක් ඇතුළත එය ක්‍රමයෙන් අඩු පරතරයකට පත්වී තිබීම ගැටලුවක් බව ද ඔවුහු සඳහන් කළහ.
ඊට අමතර ව එම්.සී.ඒ දීමනාව, 20% දීමනාව සහ අතිකාල ගණනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ මීට පෙර ද දේශපාලන අධිකාරිය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබුණ ද අවශ්‍ය විසඳුම් ලැබී නොමැති බව ද ඔවුහු පෙන්වා දුන්හ.
එමෙන් ම අනධ්‍යයන සේවක හිඟය සහ අලුතින් බඳවා ගැනීමට පියවර නොගැනීම පිළිබඳ ව ද මෙහිදී අවධාරණය කර තිබේ.
නව පත්වීම් සම්බන්ධ ගැටලුව මේවන විටත් විසඳී තිබෙන බවත් අනෙකුත් ගැටලු පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සියලු ම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමඟ පවත්වන සාකච්ඡාවකින් පසු ස්ථිර විසඳුම් ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාව පළ වී ඇත.
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක් විය.