SA20 ක්‍රීඩක වෙන්දේසියේ දී ඒෂාන් සහ විශේන්ට ලැබුණු වටිනාකම

SA20 ක්‍රීඩක වෙන්දේසියේ දී ඒෂාන් සහ විශේන්ට ලැබුණු වටිනාකම

September 10, 2025   05:38 pm

දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛතම විස්සයි20 ක්‍රිකට් ලීගය වන 'SA20 2026' අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (9) පැවැති අතර, එහිදී මෙරට තරුණ ක්‍රීඩකයින් දෙපළක් වන එෂාන් මාලිංග සහ විෂේන් හැළඹගේ ද අලෙවි විය.

ඔවුන් දෙදෙනාම IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන්ගේ පාලනයේ යටතේ පවතින පාර්ල් රෝයල්ස් විසින් මිලදී ගනු ලැබීය.

මෙම ක්‍රීඩක වෙන්දේසියට රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු ලෙසින් යළිත් වැඩභාරගැනීමට නියමිත ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද එක්ව සිටියේය.

මෙහිදී වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග දකුණු අප්‍රිකානු රැන්ඩ් මිලියනයකට හෙවත් මෙරට මුදලින් රු.මි. 17.3කට අලෙවි විය.

එෂාන් මාලිංග අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් නියෝජනය කිරීමද විශේෂත්වයක්ය.

ඔහුට අමතරව යොවුන් ක්‍රීඩක 20 හැවිරිදි විෂේන් හැළඹගේ දකුණු අප්‍රිකානු රැන්ඩ් ලක්ෂ 2කට (රු.මි. 3.45) අලෙවි විය.

මෙම වෙන්දේසියට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා, මහීෂ් තීක්ෂණ මෙන්ම බිනුර ප්‍රනාන්දුගේ නම් ඇතුළත්ව තිබුණද ඔවුන් අලෙවි නොවීම විශේෂත්වයක්.

මේ අතර මෙම වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක්ම වූ ඩිවෝල්ඩ් බ්‍රේව්ස්ය.

ඔහු රැන්ඩ් මිලියන 16.5කට ප්‍රි ටෝරියා කැපිටස් විසින් මිලදී ගත්තේය. මෙය SA20 ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම වේ.

එමෙන්ම මෙම වෙන්දේසියේ දෙවන ඉහළම වටිනාකම ඒඩන් මාක්‍රම්ට හිමි වූ අතර, ඔහු රැන්ඩ් මිලියන 14කට ඩර්බන් සුපර් ජයන්ට්ස් විසින් මිලදී ගත්තේය.

තුන්ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් තෙවන ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූ අතර, ජොබග් සුපර් කිංග්ස් විසින් රැන්ඩ් මිලියන 9 කට මිලදී ගන්නා ලදී. 

මෙම වෙන්දේසිටියේදී ජනප්‍රිය ක්‍රිකට් තරු කිහිපයක්ම අලෙවි නොවූ අතර, ඒ අතර දකුණු අප්‍රිකාවේ ඇන්ඩිලේ ෆෙහ්ලුක්වායෝ, ජූනියර් ඩලා, මුස්තාෆිසුර් රහ්මාන් ජේම්ස් ඇන්ඩර්සන් සහ මොයින් අලි වැනි ක්‍රීඩකයින් සිටියි.

තරගාවලිය 2026 වසරේ ජනවාරි 1වනා ආරම්භවීමට නියමිතය.