ප්‍රචණ්ඩක්‍රියා හමුවේ බන්ධනාගාර රැඳවියන් 900ක් පලාගිහින්
September 10, 2025 12:22 pm
උත්සන්න වී ඇති ප්‍රචණ්ඩක්‍රියා හමුවේ බටහිර නේපාලයේ පිහිටි බන්ධනාගාර දෙකක රැඳවියන් 900ක් පමණ පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, නේපාලයේ ප්‍රචණ්ඩක්‍රියා උත්සන්නවීම හමුවේ එරට නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
පුද්ගලයින් රැසකට මරු කැඳවූ නේපාල විරෝධතාවලින් අනතුරුව එරට අගමැති KP ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වුණි.
ඒ පනවා ඇති ඇඳිරිනීතිය නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා වනසා ඇති පසුබිමකය.
ඉන් අනතුරුව නේපාල පාර්ලිමේන්තු පරිශ්‍රයට මෙන්ම එරට නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තැබීමටත් නව යොවුන් විරෝධතාකරුවන් පියවර ගෙන තිබුණි.
මෙවන් පසුබිමක එරට මුදල් ඇමතිවරයා, හිටපු අගමැතිවරයෙක් වන ෂේර් බහදූර් දෙව්බා සහ ඔහුගේ බිරිද වන එරට වත්මන් විදෙස් කටයුතු ඇමතිනිය විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ බවට දැක්වෙන දසුන් පෙලක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.
ප්‍රහාරයට ලක්වූ ස්ථාන අතරට කත්මණ්ඩු අගනුවර සින්ග දර්බාර් ගොඩනැගිල්ල, හෝටල් කිහිපයක්, මාධ්‍ය ආයතන සහ ගුවන්තොටුපොළ ද අයත්ය.
පවතින ප්‍රචණ්ඩ විරෝධතා හමුවේ අරාජික වූ නේපාලයේ සමස්ත පාලනය නේපාල හමුදාව අතට ගෙන ඇති අතර ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට මැදිහත්ව තිබේ.
ජනතාවට සංසුන්ව කටයුතු කරන ලෙස හමුදාපතිවරයා මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කරයි.
අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම මෙන්ම ස්ත්‍රී දූෂණ සිදුකිරීමේ උත්සාහයන් ද වාර්තාවන බව හමුදාව පවසයි.
නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙන මෙලෙස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.
වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.
අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය පියවර ගත්තේය.
කෙසේ නමුත් රජයට එරෙහිව දැඩි කෝපයක් පළකළ විරෝධතාකරුවන් අඛණ්ඩව විරෝධතාවල නිරතවූ අතර, මෙම තත්ත්වය උද්ගතවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.