ජීවිත 15ක් බිලි ගත් ඇල්ලේ පෙරළුණු බස් රථය ගැන අලුත් අනාවරණයක්
September 6, 2025 07:06 am
ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස්රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවය.
අදාළ මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා ගත හැකි සියලුම පියවර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගෙන තිබෙන බවද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබුණි.
ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග අරක්ෂාව පිළිබඳව වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද (06) දිනයේ අනතුරට පත් බස්රථය පරීක්ෂා කිරීම සඳහා ඇල්ල ප්‍රදේශයට යන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේය.
ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය.