යෝජිත ජිනීවා මානව හිමිකම් වාර්තාවට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු
September 5, 2025 10:14 pm
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීම සඳහා ගොනුකර ඇති මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පිළිතුරු ලබාදී තිබේ.
එමඟින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වාදී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව විසින් පිළිනොගත් එකක් බවය.
එමෙන්ම ඒ යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවද එමගින් සනාථ කර තිබේ.
විශේෂයෙන් දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවද ශ්‍රී ලංකාව මෙමගින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සහ එහි නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයක් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවද ශ්‍රී ලංකාව සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ අවසන් වාර්තාව නිවැරදි සහ සමබර ආකාරයෙන් ඉදිරිපත් කරන ලෙසද ශ්‍රී ලංකා දුත මණ්ඩලය ඉල්ලා ඇත.
එහිදී මෙරට මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ලක් රජය ගෙන ඇති පියවර මෙන්ම විශේෂයෙන් නිවැරදි විය යුතු කරුණුද ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරිපත් කර තිබේ.