පන්ජාබ් ප්‍රාන්තය යට කළ ගංවතුර - 30කට අධික පිරිසක් මරුට

පන්ජාබ් ප්‍රාන්තය යට කළ ගංවතුර - 30කට අධික පිරිසක් මරුට

September 3, 2025   01:24 pm

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් 354,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබේ.

එරට ගංගා සහ ජලාශ අවදානම් මට්ටමට පැමිණ සියලුම දිස්ත්‍රික්ක ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.   

මේ සම්බන්ධ ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ මෝසම් ධාරා සහ කැලඹීම් වැනි කාලගුණ පද්ධති අතර සිදුවන අන්තර්ක්‍රියා හේතුවෙන් ගංවතුර තත්ත්වයන් ඇති වන බවය.

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල විශාල පිරිසක් ඉවත් කර ඇති අතර, පීඩාවට පත් ජනතාව සඳහා නවාතැන් සහ අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සහන කඳවුරු විශාල සංඛ්‍යාවක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පන්ජාබ් මහ ඇමති භගවන්ත් මාන් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ 1988 වර්ෂයේ සිට මෙතෙක් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවය.

ඉන්දීය රජය සඳහන් කරන්නේ ජලයෙන් යටවී කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 148,000ක පමණ විශාල බෝග හානියක් සිදුවී ඇති බවය.

ඉන්දීය හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමඟ ආපදා කණ්ඩායම් කිහිපයක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වෙමින් සිටින අතර හෙලිකොප්ටර් 35ක්, බෝට්ටු 100කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කර තිබේ.