උතුරුමැද පළාතේ උසස් පෙළ විශිෂ්ටයින් අගයයි
August 31, 2025 09:57 pm
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසුන් 241 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24.1කි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිළි කිරීමේ කථාව සිදු කළේය.
ප්‍රධාන දේශනය කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරනු ලැබූ අතර මේ වන විට ජනාධිපති අරමුදල එහි සැබෑ කාර්යභාරය හඳුනා ගනිමින් ඉතා කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත්, ඒ පිළිබඳ තමන් ඉතා සතුටු වන බවත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, භාග්‍ය ශ්‍රී හේරත්, තිළිණ සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව උතුරුමැද පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඊයේ (30) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.