සමථකරණ පනත් කෙටුම්‍පතට අනුමැතිය

සමථකරණ පනත් කෙටුම්‍පතට අනුමැතිය

August 27, 2025   03:57 pm

සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලීමෙන් පසු අනුමත කරන ලද බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනුම් දී තිබේ.

එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානතයෙන් පසුගියදා 22 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම අනුමැතිය හිමිව ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරීහු  වාණිජ සමථකරණය සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස විශේෂයෙන්ම සකස් කරන ලද 2000 අංක 44 දරන වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත තාක්ෂණික හේතු සහ සීමාවන් කිහිපයක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ එම පනත පරිච්ඡින්න කිරීම, වාණිජ සමථකරණය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවම ප්‍රමිතින් ඇතුළත් කිරීම සහ අදාළ නියමයන් සපුරාලීමට යටත්ව අධිකරණ පද්ධතිය මඟින් සමථකරණ විසඳුම් බලාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම යන අරමුණු සහිතව  එම නව පනත් කෙටුම්පතක් සකස්  කර තිබෙන බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින්  පැවසූ බව සඳහන්වේ.

දැනට පවතින  නෛතික රාමුව තුළ විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස අනිවාර්ය සමථ කරණය  පිළිගනු ලැබුව ද,  ස්වේච්ඡා සමථ කරණය සම්බන්ධයෙන් එහි දායකත්වය අල්ප බව කාරක සභවට කරුණු දක්වමින් අමාත්‍යංශ නිලධාරීන් පවසා ඇත.

සමථකරණ ගිවිසුමකට එළඹීමේ දී හෝ එවැනි ගිවිසුමක් නොමැති අවස්ථාවක ආරවුලට සම්බන්ධ පාර්ශ්වකරුවකු විසින් ස්වේච්ඡාවෙන් සමථ කරණය වෙත යොමු වූ අවස්ථාවක හෝ අධිකරණය විසින් යෝජනා කළ අවස්ථාවක සිවිල් හා වාණිජ ආරවුල් සම්බන්ධයෙන් ස්වේච්ඡා සමථකරණය සඳහා ව්‍යවස්ථාපිත කාර්යය රාමුවක් හඳුන්වා දීම වැදගත් වන  බවත්, එමඟින් වඩාත් හොඳ ආරක්ෂාවක් සපයනු ලබන අතර, රටේ සිවිල් හා වාණිජ අංශ වලට අර්ථවත් දියුණුවක් ගෙන එනු ලබන බවත්  අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත අතර තවද ස්වේච්ඡා සමථ කරණය තුළින් නීති පද්ධතියට අගනා සේවයක් සපයන බවද ඔවුන් පෙන්වා දී තිබේ.